web 2.0

Tuesday, May 24, 2011

ඇස් පනාපිට කෙල්ලෙක් කාඩ් එක කා ගත්තා ය.

කෙල්ලො...හැමදාම ඇහෙන කියවෙන වචනයක්....කෙල්ලොත් හරියට වීදුරු වගේ ලු...ඉක්මනට බිඳෙන සුළුයි....
හ්ම්ම්...ඒක ඇත්ත..ඒ මේ සංස්කෘතිය එක්ක තව තවත් පිම්බිච්ච,සමාජෙ මුල් බැහැගත්ත කතාවක්...
ලංකාවෙ සංස්කෘතියත් එක්ක කෙල්ලෙක්ගෙ, එහෙමත් නැත්නම් ගැණියෙක්ගෙ චරිතය ගොඩාක්ම සොයනව.ඒ හේතුවෙන්ම ඒ කාන්තාවට තමාගේ චරිතය රැකගන්න වෙන එක කියන්න ඕනෙ නැ නේ.
වහින් ඔරෝ නැතුව සිද්ධිය කියන්නම්...
මේක වුනේ අද.මම බස් එකේ එද්දි....අපේ වයසෙම කෙල්ලෙක්..තව යාලුවො එක්ක.ඒ කෙල්ල මම දන්න තරමින් මීටරයක්.චරිතෙත් දන්න තරමින් හොඳයි.කොල්ලෙක් එහෙම ඉන්න බවක් දන්නෙ නැ.
අපේ වයසෙම කොල්ලෙක් ටික වෙලාවකින් ගිහින් ඒ කෙල්ල එක්ක කතා කර කර හිටිය.කෙල්ලත් හිනා වෙවී හිටිය.මොනව කිව්වද කියන්න මම දන්නෙ නැ.කොල්ල ටික දුරකින් බැහැල ගියා.ඊට පස්සෙ බස් එකේ පිටිපස්සෙ කතා වෙච්ච ටික තමා මට මේක ලියන්න හේතු සාධකේ උනේ.
පිටිපස්සෙ කතා උනේ
"අඩේ බං බලපංකෝ බඩුව වගේ.බලහන් හිටපු හැටි.නිකං දාගෙන වගේ නේ" 
වගේ කතා ටිකක්...
ඉතින් ඒ සිද්ධිය නිසා ඒ කෙල්ලගේ චරිතෙට පොඩි හරි මඩක් ගැවුනා කියල මට හිතුන.මොකද කෙල්ලොන්ගෙ චරිතෙ මේ ලංකාව වගේ පරිසරයක් එක්ක ගොඩාක් සොයන බලන නිසා.ඒ වගේම කොල්ලොන්ගෙ චරිතෙ සොයන්නෙ නැති එක ගැනත් එක්ක බැලුවහම අන්තිමට කොල්ලො කරන ඕන වැඩකට විඳවන්න වෙන්නෙ කෙල්ලොන්ට කියලත් හිතෙනව.
මේ වගේ වැඩවලට ඇඟිල්ල දික් කරන්න ඕන කාටද කියන්න මම දන්නෙ නැ.අර කොල්ලටද?කෙල්ලට ද?නැත්නම් අර කතාව කියපු අයට ද?එහෙමත් නැත්නම් සමාජයටම ද?සංස්කෘතියට ද?
හැබැයි මම දකින විදියට කෙල්ලො කොල්ලො කතා කරන්න ඕනෙ.ආශ්‍රය කරන්න ඕනේ.ඒ උනාට සම්බන්ධතා හෝ සාමාන්‍ය ආශ්‍රය කිරීම් නිසා කොච්චර කෙල්ලො [වගේම කොල්ලොත්]චාටර් වෙලා ඇද්ද?කෙල්ලො කී දෙනෙක්ගෙ ජීවිත නැති වෙලා ඇද්ද?
ඒ වගේම කොල්ලෙක් එක්ක කතා කර කර ගියා කියල කෙල්ලො කීදෙනෙක්ට ගෙදරින් සැලකිලි හම්බෙලා ඇත්ද? 
කොල්ලෙක් කෙල්ලෙක් එහෙමත් නැත්නම් කෙල්ලෙක් කොල්ලෙක් ආශ්‍රය කරන එක ඇයි මෙච්චර වැරදි?කොල්ලොන්ට ඉන්න ඕනෙ යාලුවොත් කොල්ලොම විතරද?කෙල්ලොන්ට ඉන්න ඕනෙ යාලුවො කෙල්ලොම විතරද?අපේ සමාජෙට අනුවනම් එහෙමයි.
ඒ කියන්නෙ මගුල් පෝරුවට නගින්නත් ඕනෙ තමන්ගෙ වර්ගෙ එකෙක් එක්කද?අනේ මන්ද...
පිරිමි කරන කැත වැඩ නිසාත් ඒ වගේම ගැණු කී දෙනෙක් අසරණ වෙලා ඇත්ද?අන්තිමට ඇඟිල්ල දික් වෙන්නෙත් ඒ ගැණිටම නේද?
හැබැයි මේ තත්ව වලින් එක හොඳක් තියෙනව කියලත් හිතෙනව.මොකද කිව්වොත් මම දන්න තරමින් ඇමෙරිකාවෙ එහෙම සංස්කෘතිය ඉතාම පහළට වැටිල.ඒ අතින් අපේ රටවල් හොඳයි.ඒ වගේ රටවල් වල සංස්කෘතිය බලු උනාට අපේ රටවල් වල එහෙම නැහැ තවමත්....
අනිත් පැත්තෙන් සංස්කෘතිය හෝ සමාජය නිසා මේ වගේ ප්‍රශ්න කොච්චර ඇති වෙලා ඇත්ද?කෙනෙක්ට තමාගේ විරුද්ධ ලිංගිකයන්ව ආශය[මිතුරන් ලෙස] කරන්න බැරි වීම නිසා හැඟීම් මත කොල්ලො කෙල්ලො කී දෙනෙක් ඒ හැඟීම් කොයි කොයි විදියට ඉශ්ට කරගන්න ඇත්ද?
පටන් ගත්තෙ කොහෙන්ද?අන්තිමට දැන් කොහෙද?ම්ම්ම් දැන් ඇති වගේ...අන්තිමට එක ඉල්ලීමක් කරන්නම්.විශේෂෙන්ම කෙල්ලොංගෙන්.තමන්ගෙ චරිතෙ ගැන හොඩක් හිතන්න.මේ සමාජය ඔයාලගේ පොඩි වැරැද්දත් ලොකු කරගෙන,ඔයාලට හිනාවෙන්න බලාගෙන ඉන්නවා.ඒක එහෙම වෙච්ච එකට මමවත්,ඔයාලවත් වැරදි නැහැ.ඒ වුනත් කොල්ලොන්ට වගේ නෙවේ.[කෙල්ලොන්ට සාපේක්ශව කොල්ලො]කොලන්ගෙ චරිතෙ කෙනෙක් හොයන්නෙම නැති ගානයි කෙල්ලෙක්ගෙ හොයනව වගේ.....කොහොම උනත් ඔයාලගේ චරිතෙ ඔයාල රැකගන්න.විශේශෙන්ම ඔයාල ඇඳුම් අඳිද්දි උනත් ඇඟ පසඟ පේන්න අඳින්නෙ නැතුව සංවරව අඳිනවනම්.අර ඇඳල මැහුවද,මහල ඇඳද වගේ කලිසම් නැතුව කලිසමේ විදියට කලිසම අඳිනවනම් ඔයලට අර "බඩුව" කියන පහත් වචනෙන් ඇමතෙන එක අඩු වේවි.පොඩි දේ ගැනත් හිතන්න.නැත්නම් මේ සමාජය ඔයාලට මොන මොන කතා හදයිද කියන එක කවුරුවත් දන්නේ නැහැ.ඔයාලත් අසරන වෙනකම් දැනෙන එකක් නැහැ....
කොල්ලොන්ටත්,තමං දකින දකින කෙල්ලව "ඇඟ ආතල්-මූණ කචල්"කෝනෙන් බලන්නෙ නැතුව සහෝදරියක් කියන කෝනෙං බලන්න.එතකොට බොහෝදුරට මේ ප්‍රශ්නෙ මග ඇරෙයි....

16 ප්‍රතිචාර:

Anonymous said...

උඹට කියන්න කුරං මටයි යශෝධරාවටයි බස් එකේදී කතාකරන්න බැරි වෙලා තියෙන්නේ ඔය වගේ අලුගුත්තේරු මත නිසා බං.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඔතන වැරැද්ද තියෙන්නෙ බලු විදිහට බලන සමාජෙ මිසක් කෙල්ලගෙද ? තමන්ට කැමති ඇඳුමක් අදින්න , කැමති කෙනෙක් එක්ක කතාකරන්න විතරක් නෙවෙයි ඕනි නම් යාලුවෙන්නත් ගැහැනු ලමයින්ටත් අයිතියක් තියනව . ඒ අයිතිය ගැන වගක් නැතුව ගෝත්‍රික විදිහට ඒව විවේචනය කරන එකයි මම නම් දකින වැරැද්ද .

prabha said...

kathawa nam sahathika aththa...ganu lamayek maonade karanna giyath anith aya mulinma hoyanne e kenage charitha sahathike gena..e nisa thamn hariyata inna kellek danagnna ona..mokada ape rate piriminta tharam nidahasak ganunta nathi nisa.. post eka hodai kurun..

රොබින් said...

කොල්ලෙකුයි කෙල්ලෙකුයි කතා කර කර යන එකේ වැරැද්ද මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ මිත්‍රයා. ඔතන වැරැද්ද තියෙන්නේ අර බස් එකේ පිටිපස්සේ කතා කර කර හිටියා කියන මන්ද මානසික මිනිස්සු නිසා. ඔතන තියෙන්නේ ලිංගික කුහකත්වය. මට ගන්න බැරි ආතල් එක අරෑ ගන්නවනේ කියලා හිතලා කුහක කමින් කාටහරි කියව කියව ඉන්නවා. වැරැද්ද ඔතනයි. නැතුව කොල්ලගෙවත් කෙල්ලගෙවත් නෙවෙයි.
අනිත් අතට කට කතාවාට බයේ හැංගෙන්නේ මොකටද කොල්ලෝ කෙල්ලෝ..? ගහන ටකරමක් ගහන එකෙකුට ගහගන්න කියලා තමන්ට ඕනෙ දෙයක් කරගන්න එක තමයි හරි. මොකද මිනිස්සුන්ගේ කටවල් වහන්න වැටවල් ගහන්න බෑනේ. ඉස්සරවගේ නෙවෙයි දැන් සමාජේ විවෘතයි. මිනිස්සුත් ඒ විදිහට වෙනස් වෙන්න ඕනෙ.
අනිත් එක ලංකාවේ ඔය මහලොකුවට කතාකරන ලිංගික සංස්කෘතිය මහ බොරැවක් විතරයි මිත්‍රයා. ලංකාවේ වසරකට කොච්චර ස්ත්‍රී දූෂණ, අතවර වෙනවද කියලා සංඛ්‍යාලේකන අරගෙන බැලුවොත් තේරෙයි ඔය සංස්කෘතියේ තරම. මං ඉන්න රටේ කොල්ලෝ කෙල්ලෝ නිදහසේ ඉන්නවා. හැබැයි මහ රෑ 12ට වුනත් කෙල්ලෙකුට කිසිම කරදරයක් නැතුව ඕනෙ පාරක යන්න පුලුවන්. හිතන්න එපා මං වෙන රටක ඉඳන් ලංකාවට ගරහනවා කියලා. මං කියන්නේ ඔය ලිංගික ෆැන්ටසි කල්චර් එක වෙනස් වෙන්න ඕනෙ කියන එකයි. හැඟීම් පුෂ් කරලා හංගන්න බෑ මිත්‍රයා. ගිනි කඳු වුනත් නිද්‍රාගතව තිබිලා එක පාරටම පුපුරනවා.

Dilanka Madhawa said...

@ මාලුවා-හික් හික්...[අනේ උඹට හොඳ වැඩේ....]

Dilanka Madhawa said...

@ බුවා-හ්ම්ම් ඒක ඇත්ත මචං...මමත් දකින්නේ සමාජෙ වෙනස් වෙන්න ඕන කියන එක.කාලයට අනුව සමාජය හැඩගැහෙන්න ඕනෙ.

Dilanka Madhawa said...

@ ප්‍රභා-ප්‍රතිචාරෙට තැන්කු සහෝදරී.සමාජේ වෙනස් වීම සිද්ධ විය යුතු වුනත් එහෙම වෙන්නෙ නැති එකයි මට තියෙන ගැටලුව...

Dilanka Madhawa said...

@ රොබින්-ඔව් අයියේ ඔයාගෙ කතාව ඇත්ත.සමාජේ මේ වගේ දේවල් දකින කන්නාඩිය වේස් වෙන්න ඕනේ.අඩුම ගානේ සොයා බලන්නෙවත් නැතුවයි අර වගේ කතාවක් කියවුනේ.කරුමෙ කියන්නේ මට ඇහිච්ච විදියට ඒ කතාව කිව්වේ මට වඩා අවුරුද්දක් වැඩුමල් කොල්ලො වගයක්...
ඉස්සර ගැණියෙකුට රත්තරන් පුරවගෙන දෙවුන්දර තුඩුවෙ ඉඳන් පේදුරු තුඩුවට යන්න පුලුවන් වෙච්ච එක මේ කාලෙත් රැකිල තියෙනව කාලෙට අනුව සමාජෙත් වෙනස් වුනා නම්..

Unknown said...

ලංකාවේ ලිංගිකතවය කියන එක සලකන්නේ අපරාධයක් විදිහට. තමනුත් ඒකට ආස වුනත් හැමවෙලේම බලන්නේ කිහක කමින්.
අනිත් එක තමයි ලිංගිකත්වය ගැන හොඳ අවබෝධයක් ලමයිට දෙන්නේ නෑ. ලිංගිකත්වය කියන දේ කරක දෙයක් විදිහට තමයි පොඩි කාලෙ ඉඳන් ඔලුවට දාන්නේ. ලිංගිකත්වය කියන්නේ මානුසික අවශයතාවයක්. ඔය දෙයින් වැලකිලා ඉන්නත් බෑ. ඉතින් මිනිසුන් ඒක ගැන කුහක කමින් බලන්න පෙලඹෙනවා.

මම නම කියන්නේ ඕකට වග කියන්න ඕනේ අපේ අධයාපන ක්‍රමය. දෙමාපියෝ, වැඩිහිටියෝ, ගුරුවරු ඔක්කෝම එකතු වෙලා ආකල්පමය වෙනසක් සමාජයේ ඇති කරේ නැත්නම මේ ප්‍රශ්නේ කවදාවත් විසඳෙන්නේ නෑ.

පන්සල් හංදිය said...

කෙල්ලෙක් කොල්ලෙක් එක්ක සුහදව කතා කරන එක දිහා වැරදි විදියට බලන අපේ සමාජයේ තමා වැරැද්ද තියෙන්නෙ ......

Unknown said...

ඇත්තටම වටින දෙයක් මල්ලි ඔයා කියුවේ....
මේ තරම් වැදගත් සමාජයක තියෙන දුර්වල තැනක්.

අනූ said...

මං මේක දැන් අනේ පෝස්ට් කරලා කියලා දැක්කෙ.ඇත්තටම මේ මිනිස්සු හැමදාම වගේ නැතුව හරි කෝණයකින් මේ දිහා බැලුවා නම් හොඳයිනෙ.එයාලත් අපේ වයස් පහු කරලා ආපු අය.නිකන්ම උඩ ගිහින් නෑනෙ..පුදුම අය.අපේ සමාජයෙ වැ‍රැද්ද.

තාරා said...

රොබින්ගේ කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි... ඔය වගේ කතා වලින් එලියට පනින්නේ ඒවා කියන මිනිස්සුන්ගේ මානසික මට්ටම මිසක් ඒ කෙල්ලගේ චරිතෙවත් හැදියාව වත් නෙමෙයි...

කෙල්ලෙක් කොල්ලෙක් එක්ක කතා කලා කියලා කතා හදනවා කියන්නෙ ඒ කියන මිනිහා කවදාවත් කෙල්ලෙක් එක්ක වල් අදහසක් නැතිව කතා කරලා නෑ කියන එකයි...

Hishan de Silva said...

කොල්ලන්ගෙ කටවල් වහන්නත් බැහැ කෙල්ලන්ගෙ කටවල් වහන්නත් බැහැ මේ දෙපැත්තම ඉවසල ඒ වැරදි අදුනගෙන අපි හැදෙන එකයි කරන්න තියෙන්නෙ. අපිට අනුන්ව හදන්න බැහැ.

Sabith said...

කොල්ලෙක් දැක්කම කෙල්ලෙක්ටත්, කෙල්ලෙක් දැක්කම කොල්ලෙක්ටත් කිචියක් ඇතිවන විදියට ලමයිගෙ ආකල්ප සමාජය විසින් හදලා තියෙන්නෙ..
එතනයි වැරැද්ද
WWW.sabithl.blogspot.com

Anonymous said...

කෙල්ලෙක් දැක්කම ඒකිත් එක්ක බුදියගන්න හිතෙන, එහෙමත් නැත්නම් කොල්ලෙක් එක්ක කතාකරන කෙල්ලෙක් දැක්කම "ඒකි හෙන බඩුව" කියල හිතන ලිංගික කුහකත්වය, ගෝත්‍රික මනසක් අපි බොහෝමයක් දෙනාට අවු වැඩි වශයෙන් තියනව, [මාත් ඇතුළුව]

ඒකට හේතුව, ශාරීරික පරිනාමනයට නීති දාන්න බැරි උනාට, සංස්කෘතික, සමාජීය සහ මානසික පරිනාමය බොහෝම බාධක [ආගමික හා රාජ්‍ය බලය] යොදා නවත්වා තිබීම. ඉතිං කඳට ඔළුව මැච් වෙන්නෙ නැතිඋනාම සමාජගතවෙන්නෙ විකාර රූපී සතෙක්.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න