web 2.0

Monday, December 14, 2009

දූම්රියේ දූටු වෙනස

අලූත් ලැප් ටොප් එකක් ගන්න කියල මාස ගානක් හිත හිතා හිටිය. කෙහෙද ඉතින් වෙලාවක්? බොහොම අමාරුවෙන් වෙලාව හදාගෙන සෙනසුරාදා දවසක උදේ ලැප්ටොප් එකක් බලන්න කියල ගෙදරින් පිටත් වුණා. තාක්ෂණෙනුත් වැඩක් ගන්න ඕන නිසා කල්තියා ඔක්කොම විස්තර ඉන්ටනෙට් එකෙන් හොයල බලල තමයි වැඩේට බැස්සෙ. කොටින් ම කියනවනම් ලැප්ටොප් එක තියෙන කඩේ නම විතරක් නෙවෙයි තියෙන තැනත් ගූගල් මැප් එකෙන් බලලා. ඒකෙ ෆොටෝ එකකුත් මගේ ෆෝන් එකට දාගෙන තමයි ලකලෑස්ති වුණේ.
කොහොමෙන් කොහොම හරි උදේ ඇහැරෙන කොටත් හොඳටම පරක්කුයි. දඩිබිඩි ගාලා ලෑස්ති වෙලා ගෙදර ඉඳලා ඉස්ටේෂමට බයිසිකලේ පැද්දෙ ගිනස් වාර්තාවක් කඩන්න වගේ. මොකද උදේ වරුව ඇතුළත වැඩේ කරගන්න බැරි වුණොත් හවස දාගත්ත වැඩ සේරම අප්සට් යන නිසා. ඉස්ටේෂමට යනකොට කෝච්චිය අද්දන්න ඔන්න මෙන්න… කොහොම හරි නැගගත්තා. හොඳවෙලාවට සෙනසුරාදා නිසා වැඩි සෙනගක් හිටියෙ නෑ. අයිනක හිස් සීට් එකක් බලල මමත් වාඩිවුණා. දැන් කෝච්චිය යනවා.මමත් ඉතින් වටපිට බල බලා යනවා. වැඩි වෙලාවක් යන්න වුණේ නෑ. මට ආවෙ මාර නිදිමතක්. කලින් දවසෙ රෑ යුනිවසිටියෙ පාටියක් තිබුණා.ඒ පාටිය නිසා රෑ හරියකට නිදාගන්න ලැබුණෙත් නෑ. මගේ ඇස් දෙකත් ටික ටික පියවීගෙන යනවා.

මට ළඟදි දවසක කෝච්චියෙන් කොළඹ යන්න ගිහින් වෙච්චි සිද්ධියක් මතක් වුණා. කොහොම හරි එදාට කලින් දවසෙ ඉන්ටර්නෙට් එකෙන් දුම්රිය කාලසටහනේ නියම වෙලාවත් බලාගෙන තමයි ගාල්ල ඉස්ටේෂමට ගියේ.අපිට යන්න ඕන කරන තැනයි වෙලාවයි දැම්මම ගාල්ලෙන් ගන්න ඕන කෝච්චිය කියනවා. පොතේ හැටියට නම්, ඒ කියන්නෙ දූම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් සයිට් එකේ හැටියට නම් 1.45ට කෝච්චියක් තියෙන්න ඕනෑ.මම එතනට ගියාම කෝච්චියක් තියා ඩක්කුවක්  වත් එන පාටක් නෑ. බැරිම තැන එතැන හිටිය චෙකර් මහත්තයෙක්ගෙන් ඇහුවා.එයා කියනවා හෙට  සඳුදා නිවාඩු නිසා අද කෝච්චිය හෙටට දාලා කියලා. එහෙනම් මොන මගුලකටද අර ඉන්ටර්නෙට් එකේ දාලා තිබුණේ? මට යකා නැග්ගා. මේ ඉතින් ලංකාව නේ මොනව කරන්නද? මං හිත හදාගෙන බස් එකට නැග්ගා.අතීත සිදුවීම් මතකෙට එන ගමන් මටත් නොදැනිම ඇස්දෙක පියවුණා.

මමත් අද නැගල තියෙන්නෙ අලූතෙන් ම දාපු කෝච්චියකටද කොහෙද? මාරයි.ඇතුළ සේරම ඒසී කරලා. ජනෙල් දොරවල් සේරම වහලා. පොඩ්ඩක්වත් ගැස්සෙන්නෙ නෑ.අර දඩබඩ සද්ද මොනවත් නෑ. කියල වැඩක් නෑ. මට හරිම සතුටක් දැනුණා. මෙන්න එක පාරටම කෝච්චියෙ හයිකරපු ඉස්පීකර්වලින් කවුද කතාකරන්න පටන්ගත්තා.

"ඔබ සැමට සුබ උදෑසනක්" අද දිනයේත් ශ්‍රී ලංකා දූම්රිය සේවය භාවිතා කිරීම පිළිබඳව ඔබට ස්තුතියි. මෙම දූම්රිය ගාල්ලෙන් පෙරවරු හතයි විසිතුනට ගමන් ඇරැඹි කොළඹ බලා ධාවනයවන ශීඝ්‍රගාමී දූම්රියයි. මීළඟ නැවතුම හික්කඩුව දූම්රිය ස්ථානයයි. හික්කඩුවෙන් පසුව මෙම දූම්රිය අම්බලන්ගොඩ දූම්රිය ස්ථානයේ නවත්නවනු ඇත”.

එකම නිවේදනේ දෙමළෙනුයි ඉංග්‍රිසියෙනුයිත් කියනවා. මම හිතන්නෙ රෙකෝඩින් එකක් වෙන්න ඇති. 

"තව ස්වල්ප වේලාවකින් දූම්රිය හික්කඩුවට ළඟාවේ. හික්කඩුවෙන් පසුව අම්බලන්ගොඩ තෙක් ඇති අනෙකුත් දූම්රිය ස්ථාන කරා ගමන්ගන්නා මගීන් දෙවන වේදිකාවේ නවතා ඇති මන්දගාමී දූම්රියට මාරුවන්න. දූම්රිය ගමන් පථය මාරුකරන බැවින් ගැස්සීමක් ඇතිවිය හැකියි. පරීක්ෂාකාරී වන්න. දූම්රියේ වම්පස දොරටු විවෘතවනු ඇත”.

ස්පීකරේ නම් සද්දෙ නවත්තන පාටක් නෑ. උපදෙස් දෙන්නෙ පොඩි ළමයින්ට වගේ. කෝච්චිය හික්කඩුවෙ නවත්තලත් කථාවෙ නම් ඉවරයක් නෑ.

'මේ හික්කඩුවයි - මේ හික්කඩුවයි’ ගමන්මලූ ආදිය අමතක නොකරන්න”. දොරවල් වැසෙන බැවින් ප්‍රවේසම් වන්න’ දැන් ගොඩවීම හෝ බැසීම අනතුරැදායක බැවින් එසේ කිරීමෙන් වළකින්න”.
කෝච්චිය ආයෙත් යන්න පටන්ගත්තා.තාමත් අර කන්දොස්කිරියාවනම් ඉවරයක් නෑ.

"මෙම දූම්රිය තුළ ආබාධිතයින් ඇතුළු විශේෂිත පුද්ගලයන් වෙනුවෙන් ප්‍රමුඛතා ආසන වෙන්කොට ඇත විශේෂිත පුද්ගලයන් වෙතොත් එම ආසන ලබාදීමට කාරුණික වන්න. තව ද මෙම දූම්රිය තුළ ජංගම දූරකථන නිශ්ශබ්ද කොට තැබිය යුතු ය. ප්‍රමුඛතා ආසන අසලදී ඒවා ක්‍රියා විරහිතකොට තබා ගැනීමට ද කාරුණිකවන්න”.
ඒකනම් මාර නීතියක් තමයි. මගේ ෆෝන් එක වැදූන වෙලාවෙ කෝච්චියෙ සේරම මං දිහා කන්න වගේ බලන් හිටියෙ ඒකයි එහෙනම්…  
කෝච්චි පෙට්ටිය ඇතුළෙ හයිකරල තිබුණ ටීවී ටික මීටර් වුණේ දැනුයි. ඒවත් කියල වැඩක් නෑ. ප්‍රවෘත්ති ඇරුණහම ගියපු තරමක් ගියේ ඇඩ්වටීස්මන්ට්ස්. මිනිස්සුත් ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා ඒවා බලන් ඉන්නවා. තව කෝච්චියෙ ඇතුළෙ බිත්තිවලත් ඇඩ්වටීස්මන්ට්ස් පුරවලා. දූම්රිය දෙපාර්තමේන්තුව මේවයින් හොඳට හම්බුකරනවා ඇති. මම කල්පනා කලා. සැරෙන් සැරේට අර ටීවී එකෙන් කෝච්චිය ගැන විස්තර පෙන්නනවා.  ඉන්න තැන, යන තැන, නවත්වන තැන්, වෙලාවල්, තව වෙන කෝච්චිවලට මාරුවෙන අයට ඕනකරන විස්තර වගේ දේවලූත්… මම හිතුවා ඉතින් මිනිස්සුන්ට මේ ටීවී එක බල බල ගියාම වෙලාව යනව දැනෙන්නෙ නෑනෙ කියල.ඒත්, වෙලාව යවන්න මිනිස්සු ගොඩක් දේවල් කරනබව මම දැක්කෙ උනන්දූවෙන් වටපිට බැලූවාමයි. ළඟින් ම හිටිය අයිපෝඩ් අයියා අයිපෝඩ් එක කණේ ගහගෙන තව පොතකුත් කියවනවා. ඊට එහා පැත්තෙ හිටිය අංකල් ලැප්ටොප් එකෙන් බර වැඩක්. හරියට පාර්ලිමේන්තුවෙ අයවැය හදනවා වගේ. අංකල් ළඟ හිටිය මල්ලි මොක්ද්ද ගේම් එකක් ගහනවා. තව ගොඩක් දෙනෙක් ගල් ගිල්ලා වගේ නිදි. මම විතරයි නිකං අරමුණක් නැතිව වටපිට බල බල හිටියේ. 

"අනතුරු වැළැක්වීම් වැනි අවස්ථාවලදී හදිසියේ තිරිංග ක්‍රියාත්මක වියහැකි බැවින් සිටගෙන යන මඟීන් ප්‍රවේශම්වන්න”.
අසූවට-සීයට යනගමන් එකපාරට බ්‍රේක් ගැහුවොත් කොහොම වෙයිද? මටත් හිතුණා. කොහොමත් දැන් යන වේගෙනම් සීය පැනල වගේ. මට හිතුණෙ මේක කොයි වෙලේ ගුවන්ගත වෙයිද කියලා. ඒතරම් වේගෙකිනුයි ගියේ. කොහොමත් මේ යන වේගෙට ගාල්ලෙ ඉදල කොළඹට යන්න පැය එකහමාරකට වැඩිය යන එකක් නෑ.මම නිකං ගණන් හදල බැලුවා. 

පිටිපස්සෙ සීට් එකක හිටපු දෙන්නෙක් අලුත් සර්විස් එක ගැන බර කථාබහක්. 

"මේ ට්රේන් එක යන්නෙ කරන්ට් එකෙන්නෙ. දූම්රියක් කියන්නත් බෑ . අර දෙවුන්දර තුඩුව කිට්ටුව මුහුද මැද හදපු න්‍යෂ්ටික බලාගාරෙන්ලු කරන්ට් එක දෙන්නෙ. ලංකාවටම අවුරුද්දක් පුරා කෝච්චි දූවන්න ඕන න්‍යෂ්ටික ඉන්ධන පොඩි ග්‍රෑමි ගානක් ව්තරලු. පරණ ඩීසල් එන්ජින් අයින් කරලා සේරම කරන්ට් එකෙන් යන ඒව කරන්නලු හදන්නෙ. මේ වැඩෙන් ආණ්ඩුවට ගොඩක් ලාභයි. දැන් රට වටේම අන්ඩර්ග්‍රවුන්ඩ් ලයින් එකක් දාන්නලු යන්නෙ. ඉඩම් වලට වන්දි ගෙවන්නත් ඕනෙ නෑනෙ. හිහ්. හිහ්. "
"මුහුද යටින් ඉන්දියාවටත් කෝච්චි යන එකේ ඕව මොනවද? නැව් යන්නෙ කෝච්චි වලට උඩින්ලු”.
ඒ කථා අහලා මටත් හිතුණා අපි දැන් කොච්ර නම් දියුණුද කියලා. කොහොම කොහොම හරි කොළඹටත් ඇව්ල්ලා.

"දැන් දූම්රිය ගමනාන්තය වූ කොළඹ කොටුවට ළගාවනු ඇත. තලෙයිමන්නාරම හරහා ඉන්දියාව හා දිවයින තුළ සියලුම ප්‍රධාන නගර බලා ධාවනය වන්නාවූ දූම්රියන් සදහා මෙම දූම්රිය ස්ථානයේදී මාරුව්ය හැකිය. අධික සුළං තත්වය හේතුවෙන් මෙම දූම්රිය ව්නාඩි 4ක් පමණ ප්‍රමාද වීම පිළිබදව සමාව භජනය කරමු”.
    "ගමන් මළු ආදිය කිසිවක් අමතක නොකරන්න. ශ්‍රී ලංකා දූම්රිය සේවය භාව්ත කළ ඔබට ස්තූතියි. ඔබට සුබ දවසක්”.
    කෝච්චිය නැවැත්තුවා. මට ඇහෙනවා දොරවල් ඇරෙන සද්දෙ. මිනිස්සු බැහැල යන සද්දෙත් ඇහෙනවා.ඒත් එක්කම කවුදෝ මගේ ඔලුවට තටිටු කරනවා වගේ දැණුනා. මම බොහොම අකමැත්තෙන් ඔලුව උස්සලා ඇස්දෙක ඇරියා. 
 
"සුමිමසෙන් මෝ තෝකියෝ නි සුයිත යෝ"
 ජපන් ආච්චි කෙනෙක් මොනවද කියනවා. ඒ කිවිවෙ සමාවෙන්න ටෝකියො වලට ආවා. කියලයි.එහෙම කියලා එයත් බැහැල ගියා.කෝච්චිය ඇතුළෙ කවුරුවත්ම නෑ. සේරම බැහැල ගිහිල්ලා. මමත් දඩිබිඩි ගාලා බැහැගත්තා. බැහැල වටපිට බලනකොටයි මට තේරුණේ මම ඉන්නෙ ටෝකියෝවල කියල. නිවාඩුවට ලංකාවට ගිහින් ඇව්ත් මාසයක්වත් ගෙව්ල නැති නිසා තාමත් ලංකාවෙ ඉන්නව වගෙයි දැනෙන්නෙ. මටත් කෝච්චියෙදි මාර හීනයක් තමයි පෙනිල තියෙන්නෙ. ටෝකියෝ වලට කලින්ඉස්ටේෂමෙන් බහින්න හිතාගෙන හිටියත් හොදටම නින්දගිහින් හීනෙකුත් බලබල ටෝකියෝ ඉස්ටෙෂමටම ඇවිත්. කලින් දැකපු හීනෙ ගැන හිතහිතා අනිත් පැතත්තට යන කෝච්චියක නැග්ගා. අපේ රටටත් මේ වගේ දූම්රිය සේවයක් තිබුණනමි මම කල්පනා කලා.


ලිව්වේ_ දැනට ජපානේ ඉන්න අපේම අයියා කෙනෙක් වෙන සචිත් ලියනගේ අයියා.අයියාට විශේෂ ස්තුතිය.

දේශපාලන දැන්වීම් සම්බන්න්ධව මෙම ලිපියේ කතෘ ගේ කිසිම අදහසක් නිරූපනය නොකෙරේ. එම දැන්වීම් සමඟ ලිපියේ කිසිදු සම්බන්ධතාවයක් නොමැත.

8 ප්‍රතිචාර:

Anonymous said...

මම හිතුවේ මුලින්ම ඈත්තක් කියලා ...ඈත්තටම අළුත් කෝච්චි ගෙනල්ලා කියලා මම ඉන්නෙ සවුදි වල එකයි. මාර ලිපියක් තමයි....

සහන් සටහන් said...

අනේ ඒක හැබෑවක්ම වෙන්න කියල පතමු....

Thilina said...

මමත් මුල්න්ම හිතුවේ ලංකාවට මැක්සා කොච්චියක් ගෙනල්ලා තමයි කියලා :P

kasun said...

ලිපිය නම් ගොඩක් අගෙයි. හැබැයි අනෙක් නැවතුම කිව්වේ අකිහබාරා ස්ටේෂන් එක ගැනද? එතනදි ඔය කියපු ලැප්ටොප් සෑහෙන ලාබෙට ගන්න පුලුවනි.

Xpress (SiS™ ) said...

ඕක ලිව්වේ අපේ සචිත් අය්යානේ.එයා ඉන්නේ ජපානේ.කොහේ මොන ස්ටේසමේද කියලනම් දන්නේ නෑ.
ඊයේ මම කියවන කොටත් එකපාරටම හිතාගන්න බැරි වුනා.

malee_msg said...

මම මේ මුල ඉදන් කියෙව්වේ කවදා ගෙනාපු කොච්චියක් ද කියලා විස්තර දැනගන්න.. බැරි නම් මෙයාගේ හීනෙනේ විස්තර කරලා තියෙන්නේ.. තව සෑහෙන්න කලයක් යනකම් අපිට නම් ඉතිං මේවා හීනම තමයි.

Sachith said...

@Kasun : Station eka Akihabara station eka thamai. Train eka JR Chuo Line Rapid Service.

Mandy said...

මම නං අහු උනේ නෑ...
මේක හීනයක් කියලා මට මුලදිම මීටර් උනා...

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න