web 2.0

Tuesday, June 22, 2010

ජාතියේ මුර දේවතා...



පෙර දින සිටම අප සමඟ මෙම දුශ්කර ගමනේ නිරත වූ රණවිරුවෙකු සිටියේය.ඔහු නිවාඩු අවසන් වී කඳවුරට වාර්තා කරයි."ඩැෂ් ටූ"හෙවත් දම්වැල් සහිත යුද ටංකියේ පැමිණි අපට මේ රණවිරුවා බෙහෙවින් සමීප විය.එය කොතරම්ද යත් ඔහු නිවසින් පැමිණෙන විට තම මව සාදා දුන් අලුවා පාර්සලය පවා අපගේ දැතේ රඳවමින් එය අනිභව කරන ලෙසට ආරාධනා කළේය.මව මෙය සකස් කරදී ඇත්තේ කඳවුරට ගොස් මිතුරන් සමඟ අනුභව කරන ලෙසට සඳහන් කරමිනි.රනවිරු මව දැනගෙන සිට ඇත්තේ තම පුතා වවුනියාවේ රාජකාරී කරන බවය.තමන් සටන් පෙරමුනේම සිටිනා බව මේ රණවිරුවා මවට සටහන් නොකිරීමට වග බලාගෙන ඇත්තේ ඇය හෘදයාබාදයකින් පෙළෙන බැවිනි.ඔහු මේ සියලු තොරතුරු අප සමඟ සඳහන් කරමින් කඳවුරට ගමන් කලේ අපගේ බලවත් ඉල්ලීම පරිදි අලුවා පාර්සලයද යළි ගමන් මල්ලේ රඳවා ගනිමිනි. 

"එහෙනම් අපි කැම්ප් එකට ගිහින් කොල්ලොත් එක්කම කමු."


යනුවෙන් ඔහු කල යෝජනාවට අපි එකඟ වුනෙමු.

මව් බිම නිදහස් කරගැනීමේ වගකීම තම උරමත තබාගත් මෙම රන විරුවා කඳවුරට පය තැබුවා පමණි.උසස් නිලධාරීන්ගේ දැනුම් දීම මත වහ වහා නිල ඇඳුමට මාරු විය.කිලෝග්‍රැම් 20 ක් පමණ බරැති අවි ආයුධ,උණ්ඩ සියල්ල කරට ගත්තේ ය.සතුරාට නොපෙනී සිටීමට අවශ්‍ය බැවින් මුහුණ අඳුරු වර්ණ ගැන්වීමට මිතුරකුට භාර කළේ ය.අට දෙනාගේ කණ්ඩායමක් සමඟ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක පස් බැම්ම බිඳ දැමීමේ දැවැන්ත ප්‍රහාරයට එක්වීමට ඔහුද පිටත්ව ගියේ අපටද "ගිහින් එන්නම්" යනුවෙන් ප්‍රකාශ කරමිනි.

මෙවන් රන විරුවන් නොසිටින්නට මව් බිම නිදහස් කරගැනීම සිහිනයක් බව අවධාරනය කරන්නේ යුද බිමේදී ලැබූ අත්දැකීම් අනුවය.ලක්ෂයකට ආසන්න තම හමුදාවක් ඇෆ්ගනිස්තානයේ රඳවා සිටියද අවශ්‍ය ඉලක්කය කරා යාමට ඇමරිකාවට තවම නොහැකිය.එයට ප්‍රධාන හේතුව අපේ හමුදාව මෙන් තමන්ගේ වගකීම පිළිබඳ ප්‍රබල හැඟීමක් ඔවුන් තුල නොවීම ය.තලෙයිබාන්වරුන්ගෙන් තරමක ප්‍රබල ප්‍රහාරයක් එල්ල වුවහොත් ඇමෙරිකා හමුදා බලධාරීහු මෙහෙයුම් සිතියම් හකුලා ගනිති.නව සැකසුම් සකසති.එබැවින් මෙහෙයුම ඉබි ගමනේ ක්‍රියාත්මක වෙයි.අපේ රන විරුවෝ එකා පිට එකා මැරී වැටුනද සටන අත්නොහැරියහ.ඒ තරමට අපේ රණ විරුවෝ මේ සටන සමඟ ඒකාත්මික වී සිටියහ. 

එල්.ටී.ටී.ඊ ආරක්ෂක පස් බැම්ම අත්පත් කරගැනීමේ මීලඟ සටන ආරම්භ වී පැය භාගයක් හෝ ගත නොවූ බව අපගේ මතකයයි.

ඉදිරියෙන් සටන් කල අනු ඛණ්ඩයක් භාර නිලධාරියෙකුගෙන් අනදෙන නිලධාරියාට ඇමතුමක් ලැබිණි.

"සර්,අපේ එයිට් මැන් ටීම් එකකට වැදුනා.ඉක්මනට ආර්ටි ෂපෝට් එක ඕනේ"

අණදෙන නිලධාරියා එයට පිළිතුරු ලබාදීමටත් පෙර මෝටාර් ප්‍රහාරයක කණ්ඩායමට කැ ගැසුවේ ය.සිතියමේ ස්ථාන කිහිපයක් සඳහන් කරමින් නොනවත්වා මෝටාර් ප්‍රහාර එල්ල කිරීමට ඔහු අණ කලේ කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට ද අණ ලබා දෙමිනි.ඒ ක්ෂනයකින් ම ක්‍රියාත්මක වූ මෝටාර් ප්‍රහාරක කණ්ඩායම ත්‍රස්තවාදීන්ට හෙණ පුපුරන්නා සේ ප්‍රහාරයක් එල්ල කලහ.විනාඩි 10 ක් ගත වූයේද නැත.

"සර් අපේ බොඩිස් 4 කුයි,කැෂුවල්ටි ටිකයි ගේනවා"

යනුවෙන් එතනට ආ රන විරුවෙකු සඳහන් කලේ ය.

ඒ වනවිටත් තුවාල කරුවන්ට මූලික කඩිනම් ප්‍රතිකාර ලබා දීම සිදුවෙමින් පැවතින.ප්‍රවෘත්ති වාර්තාකරනය පසෙක තැබූ අපද එම ස්ථානයට දිව ගියේ තුවාල ලැබූ රණවිරුවන් සඳහා කුමන හෝ උපකාරයක් කළ හැකිනම් එය ඉටු කිරීම සඳහායි.මියගිය රණවිරුවන්ගේ නිසල දේහ එක පෙලට තබා තිබෙන අයුරු දුර සිටම දුටු අප සියලු දෙනාගේම සිරුරු ද දැවී ගියාක් මෙන් දැනිනි.හදවතෙන්ම ඔවුන්ට උත්තමාචාරය කළෙමු.ඒ මුලු ජාතියම වෙනුවෙනි.අවාසනාවක මහත,එම මළ සිරුරු පෙළෙහි තුන් වැන්නා වූයේ නිවාඩු අවසන් වී අප සමඟ කඳවුරට පැමිණි රණවිරුවායි.

උපුටා ගැනීම_2010/06/20 වැනි ඉරිදා ලංකාදීප දියත...(යුදබිමේ ගෙවුණු යුගයක සටහන් 2-අනුර දොරකුඹුර) 

3 ප්‍රතිචාර:

Anonymous said...

මේ තමයි අපේ මුර දේවතාවන්. මට කියන්න තියෙන්නෙ හැමදාමත් කියනව වගේ මල් තියල වැන්දත් පව් නෑ මේ අපේ වීරයින්ව.

Xpress (SiS™ ) said...

aththa banz..thanx

C0de BlUe said...

අනිවා ජාත්යේ මුර දේවතා වගේම තමා , රටට ණ්ය නැති පුතුන් ~~~~

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න